නමෝ තස්ස භගවතො අරහතෝ සම්මා සම්බුද්ධස්ස වාචානුරක්ඛී මනසා සුසංවුතො කායෙන ච අකුසලං න කයිරා එතේ තයෝ කර්මපථේ විසෝධයේ ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං ශුද්ධාවන්ත පින්වතුනි, මේ දුරුතු පෝය දවස බෞද්ධ අපට වැදගත් වන්නේ ශාන්ති නායක තිලෝගුරු බුදුපියාණන් වහන්සේ කැළණියට වැඩම කළ යම්කිසි ඓතිහාසික සිද්ධියක් නිමිති කරගෙනයි. එහෙම නමුත් ලෝක සම්මත දින දර්ශනය අනුව හිතන මතන බොහොම දෙනෙකුට, විශේෂයෙන්ම මේ ලැබූ දුරුතු පෝය, අළුත් වර්ෂයක - අළුත් ශත වර්ෂයක - පළමුවෙනි පෝය දවස හැටියටත් වැදගත් වෙන්ට පුළුවනි. මේ රටේ වගේම ලෝකයේ බොහොම දෙනෙක් මෙන්න මේ දින දර්ශනය දිහා බලාගෙන, දින දර්ශනයේ ඉලක්කම් දිහා බලාගෙන, නව යුගයක් - නවෝදයක් - බලාපොරොත්තු වෙන අවස්ථාවක් මේක. තමන්ගේ ජීවන දර්ශනය ගැන සැළකීමක් නැතිව, ජීවන දර්ශනයේ අඩුපාඩුකම් සකස් කර ගන්න උත්සාහයක් ගන්නේ නැතිව, දින දර්ශනය තුළින්ම නවෝදයක් බලාපොරොත්තු වීම ලොකු මුළාවක්. ඇත්ත වශයෙන්ම කෙනෙක් තමන්ගේ ජීවිතය පිළිබදව නවෝදයක්, නව යුගයක් බලාපොරොත්තු වෙනවා නම් - තමන්ගේ ජීවන දර්ශනය ගැන සළකල බලලා පරිහානි මාර්ගයෙන් ඉවත් වෙලා, බුදු පසේබුදු මහරහතන් වහන්සේලා ගමන් කළ ධර්ම මාර්ගයට ඇතුල් වෙන්න ඕන. පිවිසෙන්ට ඕන. අන්න ඒ ධර්ම මාර්ගය ඉතාමත්ම සැකෙවින් සරලව ඉදිරිපත් කළ ගාථාවක් තමයි අපි අද මාතෘකා හැටියට තබා ගත්තෙ. ඒ ගාථාවට දැක්වෙන නිදාන කථාව තුළිනුත් පෙනෙන්නේ නවෝදයක් - නව යුගයක් - බලාපොරොත්තුවෙන් අධර්ම මාර්ගයකට බැස්ස භික්ෂුවකට අත්වුණු ඉරණමයි. බුදු පියාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයේ වැඩ වාසය කළ කාලයක, එක දවසක් මහා ඍද්ධිමත් මුගලන් මහ රහතන් වහන්සේත් ලක්ඛණ ස්වාමීන් වහන්සේත් - ගිජුකුළු පව්වෙන් - ගිජ්ඣකූට පර්වතයෙන් පහලට බසින අතරෙදි, එක තැනකදි මුගලන් මහ රහතන් වහන්සේ මද සිනාවක් පහළ කළා. මේක දැකල ලක්ඛණ ස්වාමීන් වහන්සේ ඇහුව ඒකට හේතුව. මුගලන් මහ රහතන් වහන්සේ වදාළා, “ඇවැත්නි, ඒ කාරණය මම මෙතනදී කියන්නේ නෑ. බුදු පියාණන් වහන්සේ ඉදිරියේදී විමසන්න” කියලා. ඉතින් මේ දෙනමම රජගහ නුවර පිණ්ඩපාතේ කරල ඒ අවසානයේ බුදු පියාණන් ළඟට වැඩම කළා. වේළුවනාරාමයට වැඩම කරලා ඒ අවස්ථාවේ ඔන්න ලක්ඛණ ස්වාමීන් වහන්සේ බුදු පියාණන් වහන්සේ ඉදිරිපිට ඇහුවා. “මොකද ඇවැත්නි, අර විදියට සිනාවක් පහළ කළේ” කියලා. ඒ අවස්ථාවේ මුගලන් මහ රහතන් වහන්සේ ප්‍රකාශ කළා. “මම දුටුවා ඒ අවස්ථාවේදී එක්තරා විශාල ප්‍රේත රූපයක්. ශරීරය මනුෂ්‍ය රූපයක්. නමුත් හිස ඌරෙකුගෙ හිසක් වගේ. ඊළඟට ඒ කටේ තියෙනවා ඌරු නගුටක්. කටෙන් පණුවන් වැගිරෙනවා. ඒක දැකල මම ‘මහා අද්භූත රූපයක් නේද මේ විදියේ රූපයක් කවදවත් මං දැක්කෙ නෑ’ කියල මට සිනා පහළ වුණාය” කියල වදාළා. ඒක අහල බුදු පියාණන් වහන්සේ ඔන්න සතුට ප්‍රකාශ කරනවා. “මගේ ශ්‍රාවකයින් ඇස් ඇතුව වාසය කරන බව පේනවා. මමත් ඔය කාරණය දැක්කා. බෝ මැඩදීම බුද්ධත්වය ලැබූ අවස්ථාවෙදීම ඔය සතා දැක්ක මම. නමුත් මම මෙතෙක් ප්‍රකාශ නොකළේ, මා කී දෙය විශ්වාස නොකර, ඒක බොරුවක් කියල හිතල, බොහෝ දෙනා අකුසලයට බැඳිල නිරාගත වෙන්න පුළුවන් නිසායි. දැන් මට මේ සාක්ෂි කාරයෙක් හැටියට මොග්ගල්ලාන මේ කාරණය කිවුව නිසා, මමත් ඒ කාරණය අනුමත කරනව. මොග්ගල්ලාන කී කාරණය ඇත්තයි” කියලා. අන්න ඒළඟට ඒ අවස්ථාවේදී සංඝයා වහන්සේලා ඇහුවා “භාග්‍යවතුන් වහන්ස, ඒ ප්‍රේත ආත්මය ලබන්න ඒ කිවු තැනැත්තා කළ අතීත අකුසලය මොකක්ද?” කියලා. මේ අවස්ථාවේ තමයි බුදු පියාණන් වහන්සේ අතීත ප්‍රවෘත්තිය ගෙන හැර දැක්වුවෙ. කාශ්‍යප බුද්ධරාජාණන් වහන්සේගේ කාලයේ - කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලය කියන කොට මේ පින්වතුන් හිතට නඟා ගන්න ඕන මනුෂ්‍යයින්ගේ පරමායුෂ අවුරුදු විසිදාහක්. ඒක පළමුවෙන්ම හිතට දමා ගන්න වටිනවා. මේ ධර්මයේ සඳහන් වෙනවා. විසිදාහක් අවුරුදු තරම් ආයුෂ ඇති කාල සීමාවල්. එපමණක් නොවෙයි, හතලිස් දහස්, හැට දහස්, අසූ දහස් ඇතැම් බුදුවරුන්ගේ කාල වල. ඊටත් වැඩි කාල සීමාවල්. ඒක ගැන හිතනකොට, දැන් මේ පින්වතුන්ට හිතාගන්ට පුළුවන්, ශත වර්ෂයක් ගතවුනා කියල උඩ පනින, නටන, විනෝද වන, අප - අපේ ජීවිත - ඒ තරම් දීර්ඝායුෂ්ක මනුෂ්‍යයින්ගේ කාල සීමාවල් ගැන හිතන කොට පළහැටියන්ගේ ජීවිත වගේ නේද කියල. හොදයි කොහොම නමුත් කාශ්‍යප බුද්ධ රජාණන් වහන්සේගේ කාලය ගැනයි දැන් බුදු රජාණන් වහන්සේ මේ සිත යොමු කරවන්නෙ, සංඝයා වහන්සේලාගේ. ඒ කාලයේ සංඝයා වහන්සේලා දෙනමක් ගමක ආවාසයක ඉතාමත්ම සමගි සම්පන්නව වාසය කළා. වැඩිහිටි ස්වාමීන් වහන්සේට උපසම්පදාවෙන් වස් හැටයි. දෙවෙනි ස්වාමීන් වහන්සේට වස් පනස්නවයි. ඒක වසක වෙනසක් තිබුන නමුත් අර දෙවෙනි ස්වාමීන් වහන්සේ ඉතාමත්ම නිහතමානීව, සාමණේර කෙනෙක් වගේ අර වැඩිහිටි ස්වාමීන් වහන්සේගේ පාත්‍ර සිවුරු අරගෙන යනවා. සියළුම වත පිළිවෙත කරනවා. එක මවකගේ දරුවන් දෙදෙනෙක් වගේ - එක මව් කුසක උපන්න දෙන්නෙක් වගේ - ඉතාම සමගි සම්පන්නව කාලය ගත කරනවා. ඔහොම ඉන්න අතරේ ඒ ස්ථානයට පැමිණියා ධර්ම ධම් කථික භික්ෂුවක්. එදා බණ අහන දවසක්. ඒ සංඝයා වහන්සේලා බණ ඇසීමට පුරුදුව සිටි දවසක් නිසා මේ ධම්කථික භික්ෂුවට ආරාධනා කළා, බණ ටිකක් කියන්න කියලා. උන්වහන්සේ බණ දේශනා කළාම බොහොම සතුට ප්‍රකාශ කළා මේ භික්ෂුන් වහන්සේලා දෙනම. ඊළහ දවසේ මේ භික්ෂුවත් එක්ක පිණ්ඩපාතේ වැඩිය ගමට. පිණ්ඩපාතෙන් පස්සේ අර ලොකු ස්වාමීන් වහන්සේ ආරාධනා කළා මේ ධම්කථික භික්ෂුවට මනුෂ්‍යයින්ට බණ කියන්න කියලා. ඔන්න ඉතින් බණ කිව්වම මනුෂ්‍යයිනුත් හුඟක් පැහැදිලා ඊළහ දවසටත් ආරාධනා කළා. ඔය විදියට මේ භික්ෂුව බොහොම ජනප්‍රිය වුණා. අර ස්වාමීන් වහන්සේලා දෙනමත් එක්ක අවට ගම්වලට පිණ්ඩපාතෙ වඩිනවා. ඔය අතරේ මේ භික්ෂුවට ඔන්න අදහසක් ආවා - පාපිෂ්ට අදහසක් - “අපොයි මේ ළාමක ස්වාමීන් වහන්සේලා දෙනමක්, මෝඩ ස්වාමීන් වහන්සේලා දෙනමක්, මං බලන්න ඕන මේ දෙන්නා මෙතනින් එලවලා මේ ස්ථානෙ අල්ලගන්න”. ඔහොම කල්පනා කරල ඒකට උපායක් යෙදුවා. මොකක්ද උපාය? ලොකු ස්වාමීන් වහන්සේ ළඟට - මහ තෙරුන් වහන්සේ ළඟට - ගිහිල්ල එක දවසක් දා ලොකු රහසක් කියන්න ඕනකම වගේ දක්වල, “ස්වාමීන් වහන්ස, මට මේ එක කාරණයක් කියන්න තියෙනවා” කියලා ඊළඟට “මොකක්ද? කියන්න කියන්න” කිව්වම, “අපොයි, මේ කථාව කියන එකෙන් බොහොම වැරදිත් සිද්ද වෙන්න පුළුවන්” කියලා මහ ඇරියා. ඒක කිව්වේ නෑ. ඒ වගේම දෙවෙනි ස්වාමීන් වහන්සෙ ළඟටත් ගිහිල්ල “මට කාරණයක් කියන්න කියනව” කියල ආරම්භ කරල, නොකියා ඉවත් වුනා. දෙවෙනි දවසෙත් තුන්වන දවසෙත් ඔහොම කළා. අර ස්වාමීන් වහන්සේලගේ කුතුහලය - කුහුල වැඩිවනකම්. වැඩි වුනාට පස්සෙ ඔන්න එක දවසක් දා ලොකු ස්වාමින් වහන්සේ කිව්වා, “කියන්න, කියන්න ඒකට කමක් නෑ” කියලා. ඔන්න එතකොට අහනවා, ස්වාමීන් වහන්සේට අර දෙවෙනි ස්වාමීන් වහන්සේ හොදට විශ්වාසද? “අපොයි ඔව්, අපි එක කුස උපන් දරුවන් වගේ බොහොම සමගි සම්පන්නයි. මට මෙතෙක් කාලෙකට ඒ ආයුෂ්මතුන්ගෙ අඩුපාඩුවක් පෙනුනෙ නෑ” කියල ප්‍රකාශ කළ. “ඒ වුනාට ස්වාමීන් වහන්ස. මෙන්න මං ආ දවසෙ ඉඳල ඒ ස්වාමීන් වහන්සේ කියනව, ලොකු ස්වාමීන් වහන්සේ එක්ක පරිස්සමෙන් ඇසුරු කරන්න කියලා. පරිස්සම් වෙන්න කියලා.” ඔන්න එතකොට අර ලොකු ස්වාමීන් වහන්සේට අර දෙවැනි ස්වාමීන් වහන්සේ ගැන ලොකු තරහක් ඇතිවුනා. “අපොයි මේ ආගන්තුක භික්ෂුවකට මෙහෙම දෙයක් කිව්ව නේද” කියල ද්වේෂයක් ඇතිවුනා. ඊළඟට දෙවෙනි ස්වාමීන් වහන්සේ ළඟටත් ගිහිල්ල, අර භික්ෂුව අර විදියෙම කේලමක් කිව්වා. “කේලමකුත් නෙවෙයි - ඒක බොරුවක් එහෙම පිටින්ම”. කිව්වම ඒ ස්වාමීන් වහන්සෙත් බිදුනා. හේද වුණා. වෙනාද සමගි සම්පන්නව එකට පිණ්ඩපාතේ වඩින දෙනම, ඊළඟ දවසේ වෙන් වෙන්ව පිණ්ඩපාතෙ වැඩියා. පිණ්ඩපාතෙ වැඩල, අර දෙවෙනි ස්වාමීන් වහන්සෙ පළමුවෙන් දාන ශාලාවට වැඩම කළා. ලොකු ස්වාමීන් වහන්සේ එනවා දැකල, වෙනාද පුරුද්දට පාත්‍ර සිවුරු ගන්න ඉස්සරහට යන්නේද නොයන්නේද කියල හිතල. “කමක් නෑ මං කළ වත කරන්නම ඕන” කියල ඉස්සරහට ගියා. යනකොට ලොකු ස්වාමීන් වහන්සේ එලවගත්තා. “අවීනීත භික්ෂුව, ඔබට මේ මගේ පාත්‍ර සිවුරු දෙන්න වටින්නෙ නෑ” කියල. ඔන්න ඊළඟට දෙනම කතා වුනා. “මොකද හිතන්නෙ මම මේ ආවාසෙ අල්ලගෙන ඉන්තවාද?” අනිත් භික්ෂුවත් ඒ විදියට කතාවුනා - හිතාගන්න පුළුවන් නේ ‘බහින් බස් වීම’ කියන එක කොයි විදියද කියල. එහෙම බහින් බස් වෙලා, ඒකෙ ප්‍රතිඵලය මොකක්ද, මේ දෙනම - එක නමක් ඉස්සරහ දොරින් පිටවුණා. අනිත් නම පස්ස දෙරින් පිටවුණා. පිටත්වෙලා ගියා. ඉතින් අර කපටි ධම් කථීක භික්ෂුවත් බොරුවට ඉස්සරහට ඇවිල්ල, “හා හා වඩින්න එපා, වඩින්න එපා” කියල. සමථයක් කරන්තා වගේ දක්වල, අර ස්වාමීන් වහන්සේලා කිව්වම” ඔය නමම ඉන්නෙයි” කියල ඔන්න නැවතුනා. ඊළහ දවසේ අර ධම් කථීක භික්ෂුව ගමට පිණ්ඩපාතෙ වැඩියම මිනිස්සු අහනවා. “කෝ අපේ ස්වාමීන් වහන්සේලා දෙනම?” “අන්න ඔය කට්ටියගෙ අර කුළුපග ස්වාමීන් වහන්සේලා දෙනම කලහ කරගෙන, කෝලහල කරගෙන, අන්න පිටත් වෙලා ගියා” කියා කිව්වම, මෝඩ මිනිස්සුත් මේක ඇත්තක් කියල කල්පනා කළා. නුවණැති අය හිතාගත්තා. “එකත් එකටම මේ භික්ෂුව තමයි මේ දෙනමට වඩින්න කටයුතු යොදන්න ඇත්තෙ” කියල., කොහොම නමුත් අර සංඝයා වහන්සේලා දෙනමත් ඉතින් ඇත පළාතකට වෙන් වෙන්ව ගිහිල්ල - මේ කාරණය නිසා හිතේ ඇතිවුණ ද්වේෂය ආදී ඒ කෙලෙස් කොයි තරම්ද කියතොත් ඒ ස්වාමීන් වහන්සේලාට හිත එකලස් කරගන්න බැරිවුණා. භාවනා කරගන්න බැරිවුණා. ඔහොම දීර්ඝ කාලයක් ගෙවී ගියා. අපි මේ “දීර්ඝ කාලයක්” කියල කියන්නේ, ඔන්න ඊළඟට දැක්වෙන සිද්ධිය මොකක්ද - බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, අවුරුදු 100 කට පස්සේ - අවුරුදු 100 කියල කියන්නේ අන්න අර 20,000 අනුව බලන්න ඕන - අවුරුදු සීයකට පස්සෙ අහම්බෙන් වගේ මේ දෙනමම එක්තරා ඈත පළාතක සේනාසනයකට ආගන්තුක වශයෙන් වැඩම කළා. ඒ ස්ථානයේ සංඝයා වහන්සේලා එකම සේනාසනයක් මේ දෙනමටම දුන්නා. ඉතින් පළමුවෙන්ම මහ තෙරුන් වහන්සේ ඇවිල්ල සෙනසුනේ ඇඳේ ඉන්දගන්නවත් එක්කම, අර දෙවෙනි ස්වාමීන් වහන්සේත් වැඩියා. පුදුම විදියේ අමුතු සංයෝගයක් වගේ සිද්ධීමක් මේක. එතකොට ඒ වඩින කොටම වගේ අඳුනගෙන මේ ලොකු ස්වාමීන් වහන්සේට කඳුළු ගලන්න පටන් ගත්තා. බෙහොම කණගාටුවෙන් දෙවෙනි ස්වාමීන් වහන්සේගෙත් ඇසේ කඳුළු පිරිලා කියම්දෝ නොකියම්දෝ කියල හිතල ඇහුවා, “ස්වාමීනි මේ මං අච්චර කාලයක් ආශ්‍රය කළ එක, මගේ යම්කිසි වරදක් දුටුවද, කයින් වචනයෙන් එහෙම?” “නෑ නෑ, මම එහෙම කිසිම එකක් දැක්කෙ නෑ.” “එහෙනම් මොකද අර අලුතෙන් ආපු භික්ෂුවට අර විදියෙ දෙයක් කිව්වෙ මං ගැන විශ්වාස කරන්න එපා කියල.” “අපොයි මම එහෙම එකක් කිව්වේ නෑ” “මටත් එහෙම එකක් කියල තියෙනවා ඔබවහන්සෙ ගැන” ඔන්න එතකොට තේරුම් ගත්තා අර කපටි භික්ෂුවගෙ වචනෙ නිසාය මේ භේද වුනේ කියල. ඊළඟට දෙනමම සමගි වුණා ඇවැත් දේපල. ඊළඟට කථා කරගත්තා, “අපි දැන් යන්න ඕන අර කපටි භික්ෂුව පන්නන්න” කියල. ඊළඟට වැඩම කරලා, අර ආවාසෙ ළඟට එතකොට, අර ධම් කථීක භික්ෂුව ඈතදීම දැකලා ඉදිරියට ආවා පාත්‍ර සිවුරු ගන්න. මේ ලොකු ස්වාමීන් වහන්සෙ එතකොට අර - ධම් තේජස නිසා වෙන්නැති - අසුර ගසලා කිව්වා. “නුඹ වගේ අය මෙතන සිටින්න වටින්නෙ නෑ” කියලා, එලවන විදියට වචනයක් කිව්වා. අර භික්ෂුවටත් දරාගන්න බැරුව ඔන්න පිටත් වෙලා ගියා, ඒ ස්ථානය අත ඇරලා. ඒකයි සිද්ධිය. ඒක ආශ්‍රයෙන් ළහගට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර ධම් කථීක භික්ෂුව අර කියාපු බරපතල අකුසලය හේතුකොටගෙන, දීර්ඝ කාලයක් - එක බුද්ධාන්තරයක්ම - කාශ්‍යප බුද්ධ කාලයේ සිට මේ බුද්ධ කාලය දක්වාම, අවීචියේ පැසිලා එහි විපාක අවශේෂ වශයෙන් - ඒ පාප කර්මයේ වල්ග කොන හැටියට - කෙළවර හැටියට - ඔන්න ඔය ප්‍රේත ආත්ම භාවය ලබල ඉන්නවයි කියල. ඔන්න ඕකයි එතකොට සිද්ධිය. එහෙම ප්‍රකාශ කරලා මේ විදියට මේ සිත කය වචනය අසංවර කරගෙන එය පාපී විදියට පාරිවර්තී කිරීමේ විපාක - මේකයි තත්වය කියලා ඒ සිද්ධිය පසුබිම් කරගෙන, පදනම් කරගෙන බුදුපියාණන් වහන්සේ ලෝකයාට අනුශාසනයක් වශයෙන් තමයි අපි අර කලින් ප්‍රකාශ කළ ගාථා ධම්ය වදාළේ. වාචානුරක්ඛී මනසා සුසංවුතො කායෙන ච අකුසලං න කයිරා ඒතේ තයෝ කර්මමපථේ විසෝධයේ ආරාධයේ මග්ගං ඉසිප්පවේදිතං “වාචානුරක්ඛී” කියල කියන්නේ වචනය පිළිබදව රැක්මක් ඇතිව. “මනසා සුසංවුතො” - “මනසින්, සිතින් හොඳහැටි සංවරව, “කායෙන ච අකුසලං න කයිරා” - කයින්ද අකුසලයක් නොකරන්නේය. ඒ කියන්නේ තුන්දොරම රැකගන්න කියන එකයි. “ඒතේ තයෝ කර්මමපථේ විසෝධයේ” - “මෙන්න මේ කර්ම පථයන් තුනම පිරිසිදු කර ගන්න. මේ තිදොර නිසා නොයෙකුත් කර්මයන් ඇතිවෙනවා. ඒ කර්ම පථ - ඒවා පිරිසිදු කර ගන්න.” එහෙම පිරිසිදු කර ගැනීමෙන් “ආරාධයේ මගං ඉසිප්පවේදිතං” - “බුද්ධාදී ඍෂිවරයන් වහන්සේලා විසින් දේශනා කරන ලද, දක්වා වදාරන ලද, ඒ මාර්ගය සම්පාදනය කරන්නේය. ඒ මාර්ගයට අනුව පවතින්නේය” කියන එකයි ඒ අනුශාසනය. දැන් එතකොට අපි පළමුවෙන්ම මේ ගාථාවට අදල ඒ කථාව ආශ්‍රයෙන් අපට උපදේශ වශයෙන් ගතහැකි දේවල් මාතෘකා කරගන්න බලමු. සමගි සම්පන්නව සිටි භික්ෂුන් වහන්සේලා දෙනමක්, බොරුව කේලම කියන ඒ දෙක සම්බන්ධ කරල, අදින්නාදාන කියලා කියන තමන් සතු නැති දෙයක් ලබාගැනීමේ වේදනාවත් ඇතිව, ඒ විදියටම යම් කිසි වචන පටිපාටියක් - ක්‍රියා පිළිවෙලක් යොදා ගැනීමේ විපාක වශයෙන්, අර කියාපු භයානක තත්වය ලබාගත්තු බවයි අපට ඒ කථාන්තරයෙන් පේන්නේ. එතකොට විශේෂයෙන්ම අපි කල්පනා කරලා බලමු මේ වත්මාන කථාවේ කියන සූකර ප්‍රේතයා - ඒ ප්‍රේතයට නමදීල තියෙන්නෙ සූකර ප්‍රේතයා කියලා. මොකද ඌරු කටක් තියෙන නිසා. - මේ සූකර ප්‍රේතයා පිළිබද කථා වස්තුව, කථාව දැන් මේ කාලයෙත් ඔය “නොපෙනෙන ලෝකය” ගැන ලොකු උනන්දුවක් ඇතැම් අය අතර තිබෙනවා. ඔය භූත ආත්ම ගැන, ප්‍රේත ආත්ම ගැන යම්කිසි උනන්දුවක් මේ කාලයෙන් ඇතිවෙලා තිබෙනවා. මේ නොපෙනෙන ලෝකය පෙනෙන ඇස් ඇති අයත් සිටින බවයි අපට මේ වත්මාන සිද්ධියෙන් පේන්නේ. මුගලන් මහරහතන් වහන්සේට ඒ දිවැසට පෙනුණා ඒක. නමුත් ලක්ඛණ ස්වාමීන් වහන්සේට ඒක නොපෙනුන නිසා, ඒක ප්‍රකාශ කිරීමෙන් ලක්ඛණ ස්වාමීන් වහන්සේත් අකුසල් ඇතිකරගන්න පුළුවන් කියන අදහසිනුයි, ඒක නොකියා හිටියේ. ඊළඟට බුදුපියාණන් වහන්සේත් ඒ වගේමයි තමන් වහන්සේත් ඒක දැකලා, සාක්ෂිකාරයෙක් ලැබෙනකම් ඒක ප්‍රකාශ කළේ නෑ. එතකොට මේ නොපෙතෙන ලෝකය පෙනෙන ඇස තමයි දිවැස. භූත ආත්ම පමණක් නෙවෙයි. ප්‍රේත ලෝක පමණක් නෙවෙයි. අනිත් ලෝකත් - නිරය, අසුර ලෝකය, ඒ වගේම දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක පවා පෙතීමට ශක්තිය තිබෙනවා මේ දිවැසට. එතකොට මෙන්න මේ විදියේ ශක්තියක් තිබෙන බව අපි කල්පනා කරන්න ඕන. ධම්යේ සඳහන් වෙනවා ඇස් තුනක් ගැන. මංස චක්ඛු, දිබ්බ චක්ඛු, ප්‍රඥා චක්ඛු කියලා. සිංහලට ගත්තොත් මේක මසැස. දිවැස, පැණැස කියල කියන්න පුළුවන්. පැණැස කියන්නෙ ප්‍රඥා චක්ඛුෂය. ඔය විදියේ ඇස් තුනක් ගැන සඳහන් වෙනවා. දැන් මෙතන කියැවෙන්තෙ මේ දිබ්බ චක්ඛු ගැනයි. “මගේ ශ්‍රාවකයින් ඇස් ඇතිව සිටිනවා” කියල බුදු පියාණන් වහන්සෙ මෙතනදී ප්‍රකාශ කළේ මෙන්න මේ දිබ්බ චක්ඛුව ගැන කල්පනා කරලයි. එතකොට දැන් මේ කාලයේ ඇතැම් කෙනෙක් - තර්කය නඟා ගත්තු කෙනෙක් - කියන්න පුළුවන්, “මේ විදියේ අය අපට දකින්ට ලැබෙන්නෙ නෑ. මෙහෙම දෙයක් නෑ” කියල. ඒක ධර්මයේ සඳහන් වෙනවා දිවැස් උපදවගන්න බැරි අය දිවැසක් නැතෙයි කීම, හරියට අන්ධයින් ඉරහඳ තාරකා නැතෙයි කීම වගෙයි කියල. අනිත් අතට දැන් අර කියාපු විදියට නොපෙනෙන ලෝකය ගැන උතන්දුවක් තිබෙන නිසා, ඒ එකකම අපට ඒක ගැනත් යමක් කියන්න පුළුවන්. දැන් බොහොම දෙනෙක් මේ කාලෙ විශේෂයෙන් බටහිර මනෝ විද්‍යාඥයින් එහෙම - ඔය “අධි මානසික” “අතීන්ද්‍රිය” කියල නොයෙකුත් වචන දාගෙන - ලස්සන වචන දාගෙන - ඒ ගොල්ලො බලනවා මේ භුතලෝක ගැන යම් යම් පරීක්ෂණ මගින් ලෝකයට යම් යම් දේවල් දක්වන්න. මේක නිකං අර පොඩි දරුවන්ගෙ සෙල්ලම් වැඩක් වගෙයි. ඒ අය එකට උපකාර කරගන්නෙ බොහෝ විට - ඒ අධි මානසික පර්යේෂණ සදහා - වශීකරණය, මෝහන වගේ තවත් නොයෙකුත් ඒ විදියේ උපක්‍රමයි. ඒ මගින් මේ භූතලෝක ගැන යම් යම් දේවල් අනාවරණය කරගන්න උත්සාහ කරනවා. නමුත් ධම්‍යානුකූලව, නියම විදියට නම් - එකත් ඉතින් බොහෝ දෙනා ඒවා සැක කරන්න හේතු වෙන නිසා - තමන්ම ප්‍රත්‍යක්ෂ කර ගැනීමට නම් අන්න අර කියාපු දිවැස අවශ්‍ය වෙනවා. ඒක ශීල, සමාධි, ප්‍රඥා වැඩීමෙන්, එහෙම නැත්නම් විශේෂයෙන්ම ධ්‍යාන සමාපත්ති ඇතිකරගෙන - ඒ අභිඥා කියල කියන විශේෂ ශක්තිය සිත තුළ ඇති කර ගැනීමෙන් තමයි මේ මසැස පිහිට කරගෙන දිවැස මතුකර ගන්ට පුළුවන් වන්තෙ. එතකොට ඒ දිවැස ඇති අයට පේනවා ඒ විදියේ ලෝක. අන්න ඒක උපකාර කරගෙන තමයි මුගලන් මහ රහතන් වහන්සේ වගේම බුදුපියාණන් වහන්සේත් බොහොම අවස්ථාවල ලෝකයේ සත්ත්වයා කර්මානුරුපව ඒ ඒ තත්ත්වවලට පත්වන ආකාරය පෙන්නුම් කර වදාළේ. දැන් මෙතන ඊළඟට අපි තව ටිකක් කල්පනා කරල බැලුවොත් මෙන්න මේ ප්‍රේත ආත්මය ගැන, - බොහෝ විට කර්මයට අනුරූපවම ශරීරයක් පහළ වෙන්නෙත් - දැන් මෙතනත් අර හික්ෂුව ගැන හිතල බැලුවහම, අර හික්ෂුව බලාපොරොත්තු වුන මහන්තත්වයට ගැලපෙන ලොකු ශරීරයක් තිබෙනවා. ඒ වගේම තමන් පාවිච්චි කළ අපිරිසිදු වචන නිසා, ඒ හික්ෂුවගෙ හිස ඌරෙකුගෙ හිසක් වගෙයි. ඒ වගේම ඒ ආවාසය ලබා ගැනීමට ගැසූ කපටි ගැටය තමයි අර ඌරු නගුට -ඌරු නගුට, කටේ තිබෙන. ඒ වගේම කටින් වැගිරෙනවා පණුවන්. ඔය විදියේ තත්ත්වයක්. නරක වචන පාවිච්චි කිරීමෙන් - අර අය හේද භින්න කරවීම සදහා - එසේ ප්‍රතිඑලයක් හැටියට මෙන්න මේ විදියේ බොහොම අද්භූත රූප ලබන ප්‍රේත ආත්ම ගැන සඳහන් වෙනව. එපමණක් නොවෙයි. තවත් මේ විදියටම මේ සමාන්තරවම යන තවත් සුත්‍ර රාශියක් සඳහන් වෙනවා. ලක්ඛණ සංයුත්ත කියන ඒ ධම් කොට්ඨාසයේ මුගලන් මහරහතන් වහන්සේත් ලක්ඛණ ස්වාමීන් වහන්සේත් අතර දෙබස් හැටියට - එහෙම නැත්තම් ගිජුකුළු පව්වේදී දුටු දර්ශන වශයෙන් - සඳහන් වෙන තවත් කාරණා රාශියක් දැක්වෙනවා ධම්යේ. නොයෙකුත් විදියේ භයානක ප්‍රේත රූප කීපයක් සඳහන් කරනවා නම් - ඒ හැම එකකදීම, ඒ ප්‍රේත රූප දකින හැම අවස්ථාවකදීම - ඒ දුටු හැම අවස්ථාවකදීම - අර කලින් කියාපු ආකාරයටම බුදු පියාණන් වහන්සේ ලඟදි තමයි ඒ විස්තරේ හෙළි කළේ මුගලන් මහ රහතන් වහන්සේ. ඒ අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ - ඒ එක් එක් ප්‍රේතයාගෙ අතීත පුවෘත්තියත් දක්වනවා කෙටියෙන්. ඒ විදියේ සුත්‍ර පෙළක්ම කියනවා. මේකට සමාන නිසා අපි සඳහන් කරනවා. එක අවස්ථාවක දුටුවයි කියල සඳහන් වෙනවා අහසින් යන ඇටසැකිල්ලක්. අහසින් ඇටසැකිල්ලක් ගමන් කරනවා. ඒ ඇටසැකිල්ලෙ ඉල ඇට අතරට උකුස්සන්, ගිජුලිහිණියන්, කපුටන්, විටින් විට අනිනව. අර ඇටසැකිල්ල විලාප කියමින් අහසින් යනවා. අන්න ඒ රූපය රජගහ නුවරම හිටපු ගව ඝාතකයෙක් - ගව ඝාතනය කරපු තැනැත්තෙක්. ඊළඟට ඒ වගේම මස්පිඩක් අහසින් යනවා. ඒ මස්පිඩත් අර විදියට අර ගිජුලිහිණියන් අනිනව. මස්පිඩ කැගහනව - මස්පිඬක ස්වරූපයෙ රූපයක් එතන දක්වන්නෙ. ඒ ස්වරූපය ඇති ප්‍රේත ආත්මයක්. ඒකට කර්මය හැටියට දක්වන්නෙ ඒ රජගහ නුවරම හිටපු කුරුළු වැද්දෙක්. ඊළඟට සඳහන් වෙනව හමක් නැති මනුෂ්‍ය රූපයක්. ඒත් අහසින් යනව. අර විදියටම සතුන් අනිනව. එතන දක්වන්නෙ බැටළු වැද්දෙක්. ඊළඟට දක්වනව - තවත් ප්‍රේත ආත්මයක් දැකල තියෙනව, මුගලන් මහ රහතන් වහන්සෙ, ලෝම හැරියට කඩු වගේ. ඒ කඩු උඩ පැන පැන ආයිත් ශරීරයට වැටිලා ශරීරය කපනව. ඒක දක්වන්නෙ ඌරු වැද්දෙක් හැටියට. රජගහ නුවරම හිටපු ඌරු වැද්දෙක් තමයි ඒ තත්වය ලැබුවේ. ඊළඟට තවත් ආත්ම භාවයක් දක්වනව. ප්‍රේත ආත්මයක් යනව හිසක් නෑ. හිසක් නැති ප්‍රේත රූපයක්. ඇසුත් කටත් පිහිටල කියෙන්න පපුවේ. ඒත් අර විදියටම සතුන් අනිනව. විලාප කිය කිය යනව. ඒකෙදි බුදුපියාණන් වහන්සෙ විග්‍රහ කරනවා. මේ රජගහ නුවරම හිටපු චෝර ඝාතකයෙක්. අළුගෝසුවෙක්. දැන් ඔය වධකයෙක් කියල කියන්නෙ. සොරුන් අල්ලගෙන ආවම මරන මිනිහෙක් හිස කපලා. අන්න ඒ විදියෙ “හාරික” කියන නම ඇති චෝර ඝාතකයෙක් කියල නමත් එක්කම දිල තියනව බුදු පියාණන් වහන්සෙ. ඊලඟට ඒ වගේ තව දක්වනව. තව ප්‍රේතයෙක් හිස දක්වාම අශුචි වළක වැටිල ඉන්නව. ඒ තැනැත්තා පරදාර සේවනය කළ කෙනෙක්. ඊලඟට තවත් අවස්ථාවක මුගලන් මහ රහතන් වහන්සෙ දුටුව හමක් නැති ස්ත්‍රියක් අහසින් යනව - සෘද්ධි බලයෙන් නෙවෙයි. ඒකත් අර ප්‍රේත ආත්මයක්. අර විදියටම සතුන් අනිනව. ඒ තැනැත්ති පරපුරුෂ සේවනය කළ තැනැත්තියක්. ඔන්න ඔය විදියේ ආත්ම භාව රාශියක්. ඊළගට ඊටත් වඩා මේ කාලයේ තවත් මතක් කරගත යුතු දෙයක් තමයි. මුගලන් මහ රහතන් වහන්සේ දුටුවා. භික්ෂු රූපයක් අහසින් යනවා. සෘද්ධියෙන් නෙවෙයි. ඒ භික්ෂු රූපයේ සඟල සිවුරත් (දෙපට සිවුරත්) ගිනි අරගෙන. පටියත් ගිනි අරගෙන. පාත්‍රයත් ගිනි අරගෙන. දැවී දැවී අහසින් යනවා. ඒ කාශ්‍යප බුද්ධ කාලයේ පාප භික්ෂුවක්, ඒ වගේම පාප භික්ෂුණියක්, පාප සාමණේරයෙක්, සාමණේරියක්, ඒ විදියට අහසින් යනව. ගින්නෙන් දැවී දැවී. ඉතින් මෙන්න මේවා අපි සිහියට තබාගත යුතු දේවල්. අපි හිතන්නෙ මේක ලොකු දුකක් හැටියට. මේ හැම එකක්ම වගේ බුදු පියාණන් වහන්සෙ දක්වන්නෙ මුලදීම මේ පාප කර්මයේ බරපතල කොටස නිරයෙම ගෙවල - නිරයේ පැසිල - අවීචි මහ නිරයේ පැසිලා - පාප කර්මයේ ඉතුරු කොටස හැටියටයි ඔන්න ඔය ප්‍රේත ආත්ම ලබල තියෙන්නෙ කියල. ඉතින් ඔන්න ඔය විදියට කර්ම විපාක වශයෙන් බුදු පියාණන් වහන්සෙ දක්වන අවස්ථාවල් බොහොම තියනව සූත්‍ර දේශනාවල. මේක ආශ්‍රයෙන් මේ පින්වතුන්ට අමුතුවෙන් නොකිව්වත් හිතාගන්න පුළුවන් අපි අර කියාපු කාරණය - නව යුගයක් උදාකරගන්නෙ කොහොමද කියන එක. දැන් අපි අර ගාථාව ගැනත් හිත යොදවල බලමු. මේ ගාථාවේ පද තව ටිකක් විස්තර සහිතව ගත්තොත්, “වාචානුරක්ඛී” - “වචනය රැකගන්නේය”. සාමාන්‍යයෙන් මේ පින්වතුන් අහල කියෙනව දස අකුසල් කියල කියන්නෙ ප්‍රාණඝාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර කියල කියන කයින් කෙරෙන වැරදි තුනයි. ඊළඟට වචනයෙන් - බොරුකීම, කේළාම් කීම, පරුෂ වචන කීම, නිශ්ඵල - හිස් - වචන කීම, දැන් මේ අවස්ථාවේ සමාදන් වූ අජීව අෂ්ටමක ශීලයෙ කියන ආකාරයට ඒව වචනයෙන් කෙරෙන වැරදි. සිතෙන් කෙරෙන වැරදි හැටියට දක්වල තිබෙන්නෙ අභිජ්ඣා කියල කියන විෂම ලෝභය - අවිජ්ජා නොවෙයි - කියල කියන්නෙ අන් සතු දෙය තමන් සතු කරගැනීමේ විෂම ලෝභය. ඊළඟට ව්‍යාපාද කියල කියන ද්වේෂය. ඊළඟට ‘මිච්ඡාදිට්ඨී’ මිථ්‍යාදෘෂ්ටිය. මේවා සිතින් කෙරෙන, මනසින් කෙරෙන අකුසල් හැටියට. මෙතන තියෙනව “වාචානුරක්ඛී” - මෙතන වචනයට මූල් තැන දීල තිබෙන්නෙ. මේ කථාන්තරයේ තිබෙන්නෙ වචනය පිළිබඳ අකුසලයයි. “වාචානුරක්ඛී මනසා සුසංවුතො” - මනසින් හොඳින් සංවර වීම කියල කියන්නෙ අර සිතින් කෙරෙන වැරදිවලින් ඉවත් වීම. “කායෙන ච අකුසලං න කයිරා” කියල කිව්වේ අර කයින් කෙරෙන වැරදි තුනෙන් ඉවත්වීම. ඉතින් ඔන්න ඔය තුන් දොර රැක ගැනීමයි කළයුත්තෙ, මේ මනුෂ්‍ය ලෝකයේ යමෙක් උපන්නා නම්, යමෙක් බලාපොරොත්තු වෙනව නම් අභිවෘද්ධියක්. අර “ධම්මකාමො භවං හොති - ධම්ම දෙස්සී පරාභවො” කියල පරාභව සූත්‍රයේ කියල තියන අකාරයට ධර්මයට කැමති කෙනෙක් තමයි ලෝකයේ ඇත්ත වශයෙන්ම දියුණු වෙන්නෙ. ධර්මයට ද්වේෂ කරන පුද්ගලයා පරාභව කියල කියන විනාශයට පත්වෙනව. පරිහානියට පත්වෙනව. දැන් ලෝකෙ නම් ඒකෙ අනිත් පැත්තටයි බොහෝ විට කෙනෙක් සාධක දක්වන්නෙ. ධර්‍මානුකූලව ජීවත් වෙන කෙනාට “තැනක් නෑ” කියල සමහර කෙනෙක් කියනවා. තැන කියෙන්නෙ අන්න අර ධර්මයට පිටුපාල මිථ්‍යා ආජීව කියල කියන වැරදි ජීවිකා ක්‍රම අනුව, තවත් නොයෙකුත් විදියේ ගැට මගින්, නීති ගැට මඟින්, ජීවත්වන අයටයි. කොයි නීති ගැටයකින් හෝ අන්‍ය සතු දෙයක් තමන් සතු කර ගත්තොත් ඒ ගැටය අර විදියටම කටටම එන්න පුළුවන් - තමන්ගෙ කටටම. අන්න ඒ විදියේ භයානක තත්ත්වයක් තිබෙනවා. එතකොට ඒ අයට තිබෙන “තැන” මොකක්ද කියන එක බුද්ධ වචනය අනුව නම් මේ කියාපු කාරණා අනුව හිතාගන්න පුළුවන්. නිරය, තිරිසන් යෝනිය, ප්‍රේත ලෝකය, අසුර යෝනිය. ඔතන තමයි. එතකොට “එහෙම තැනක්” ඕන කෙනෙකුට අන්න ඒ විදියෙ ප්‍රතිපදාවක් - ප්‍රතිපත්තියක් අනුව තමන්ගෙ ජීවන දර්ශනය හැඩගස්වා ගන්න පුළුවනි. ඉතින් මේක ආශ්‍රයෙන් අපිට හිතාගන්න පුළුවන්, අපි මේ ලබාගත්තු ඉතාමත්ම දුර්ලභ මනුෂ්‍ය ආත්මභාවයෙන් අර විදියෙ භයානක තත්ත්ව වලට පත්නොවන ආකාරයට ජීවත් වෙන්න නම් මෙන්න මේ බුදු පියාණන් වහන්සෙ වදාළ- බුද්ධාදී සෘෂිවරයන් වහන්සේලා දක්වා වදළ - මෙන්න මේ සිත කය වචනය පිළිබඳව, මේක ගැන සැලකිලිමත් වෙන්න ඕන. “වාචානුරක්ඛී” කියල කියන්නෙ වචනය පිළිබඳව රැක්මේ යෙදෙන්න ඕන. දන්නෙම නැතුව සමහරවිට බොරුව පිටවෙනව. කේළම, පරුෂ වචනය. ඊළගට කවත් නොයෙකුත් හිස් වචන. ඒක නිසා වචන පිළිබඳව රැක්මක් ඇතිකරගන්න ඕන. සිත පිළිබඳව සංවරයක් ඇතිවෙන්ට ඕන. එහෙම නැත්තම් දන්නෙම නැතුව මිසදිටු ගන්නව - පාපමිත්‍ර සේවනය නිසා වැරදි දෘෂ්ටි ගන්නව. එහෙමත් නැත්නම් ද්වේෂ සිතිවිලි ඇති කරගන්නව. එහෙම නැත්තම් දැඩි ලෝභ ඇතිකරගන්නව. දැන් මෙතන කියවුනු භික්ෂුවගෙත් “අභිජ්ඣා” කියල කියන, අන්සතු දෙයක් තමන් සතුකර ගැනීමට කියන අභිජ්ඣා කියල කියන දැඩි ලෝභය - විෂම ලෝභය තියනව. කේළමයි, මුසාවාදයයි ඊළඟට හොරකමයි - මේ හැම එකක්ම ඒ භික්ෂුවගෙ ක්‍රියා මාර්ග තුළ තිබෙනව. ඒවාට විපාකයි අර කථාන්තරයේ දැක්වන්නෙ. එතකොට හැමතිස්සෙම අපි එදිනෙදා ජීවිතයේ මේවා පිළිබඳව රැක්මක යෙදෙනව නම් ඒකෙ ප්‍රතිඵලය බුදුපියාණන් වහන්සෙ මෙලොව වශයෙන් දක්වල තිබෙන්නෙ, මේ පින්වතුන් අහල ඇති - දැන් ගිහි පින්වතා ඒ විදියට හොඳට සිල්වන්ත ජීවත් වෙනව නම් ඒ තැනැත්තාට අනිත් අයට නොලැබෙන විදියේ වටිනා සැපයක් ලැබෙනව. ඒකට කියන්නෙ “අනවජ්ජ සුඛය” කියල. වැරදි කළේ නැහැ කියන ඒ හැඟීම කුළින් කෙනෙකුට ලොකු සහනයක් ඇතිවෙනව. ඒකෙ අනිත් පැත්ත තමයි පසුතැවිල්ල. දැන් ධම්යෙත් දක්වනව - බුදුපියාණන් වහන්සෙ එක සූත්‍රයක දක්වනව, බාලයයි පණ්ඩිතයයි අතර වෙනස. දැන් මේ කථාවේ දැක්වෙන භික්ෂුව සමහර විට හිතන්න ඇති තමන් ධර්ම කථික භික්ෂුවක් නිසා අර ස්වාමීන් වහන්සේලා බොහොම ලාමක අය වගේ හැසිරුනු නිසා “මම තමයි පණ්ඩිතයා” කියලා. ඉතින් ඒ පණ්ඩිතකමින් කරගත්තු ඒක තමයි අර ඒ විපාකය. ඉතින් සාමාන්‍ය ලෝකයෙත් ඒ විදියටයි හිතන්නෙ. යම් කිසි කෙනෙක් ධර්මානුකූලව නිහතමානීව ජීවත් වෙනව නම් ඒ අය මෝඩයා. මේ කාලයෙ නම් පණ්ඩිතකම අඳුනගන්නෙ අර නම අගට තියන අකුරු ටිකෙන්, එහෙම නැත්නම් ඉස්සරහට තියන පද මාලාවෙන්. එහෙම නෙවෙයි බුදුපියාණන් වහන්සෙ බාලයාත් පණ්ඩිතයාත් අතර වෙනස දක්වල තිබෙන්නෙ. බාලයා හඳුන්වල තියෙන්නෙ මෙහෙමයි - “දුබ්භීහිත චින්තී, දුබ්භාසිත භාසි, දුක්කත කර්මමකාරී” - යම්කිසි කෙනෙක් වැරදි චින්තාවන්, වැරදි සිතිවිලි සිතනව නම්, වැරදි වචන කථා කරනවා නම්, වැරදි ක්‍රියා මාර්ග ගන්නවා නම්, වැරදි ක්‍රියා කරනවා නම්, අන්න ඒ තැනැත්තා තමයි බාලයා. ඊළඟට පණ්ඩිතයා හඳුන්වල තියෙන්නෙ “සුවීහිත චින්තී, සුභාසිත භාසි, සුකත කර්මකාරී” යම්කිසි කෙනෙක් හොඳ සිතුම් පැතුම් සිතනවා නම්, හොඳ වචන කථා කරනවා නම්, හොඳ ක්‍රියා කරනවා නම්, අන්න ඒ තැනැත්තා තමයි පණ්ඩිතයා. ඔය දෙක අතර වෙනසක් දක්වල, බුදුපියාණන් වහන්සෙ ඒ අවස්ථාවෙදි පෙන්නුම් කරනවා අර බාලයා, ඒ බාල කම නිසා - සමාජයේ කොයි අන්දමින් කැපී පෙනුනත් - ඇතුළතින් විඳින දුක, පසුතැවිල්ල. ඒක නිසා තමයි ධම්යේ හතර ආකාර කරලා දක්වනවා වැරදි ආකාරයට ජීවිත ගෙවන පුද්ගලයාට විඳින්න වන භය. අත්තානුවාද භය, පරානුවාද භය, දණ්ඩ භය, දුගති භය කියල. තමාගේ හිත දොස් කියනව. අනුන්ගෙ දෝෂාරෝපණය අහන්ට ලැබෙනවා. නුවණැති අයගෙ දෝෂාරෝපණය - නිකං අයගෙ නෙවෙයි. ඊළගට නීතියෙ රැහැනට අහුවෙලා දඬුවම් විඳින්න සිද්ධ වෙනවා. ඒ හැම එකකින්ම බේරිලා හිටියත් අන්තිමට දුගතියට යනවා. ඉතින් මෙතන බුදුපියාණන් වහන්සෙ දක්වනව අර “අත්තානුවාද භය” කියල කියන තමන්ගෙ හිත දොස් කියන කාරණයම තවත් විග්‍රහ කරල. අවස්ථා 3ක් හැටියට දක්වනවා. දැන් යම්කිසි අර කියපු බාලයෙක් අර විදියට ප්‍රාණඝාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර ආදී ඒ වැරදි කරලා, ගමේ ගොඩේ යන අතරෙ, නගරයේ යන අතරේ, එහෙම නැත්තම් සභාවක ඉන්න අතරෙ, මං සන්ධියක ඉන්න අතරේ, ඒ තැනැත්තාට ඇහෙනවා අනිත් අය කථා කරනවා, අර සියලු පාප කර්ම ගැන. මේ පුද්ගලයා ගැන නොවෙන්න පුළුවන්. නමුත් ප්‍රාණසාතය ගැන, හොරකම ගැන - ඕවා කථා කරන කොට අර පුද්ගලයාගෙ හිත යටින් හිතෙනවා, “දැන් මාත් මේ විදියෙ දේවල් කරල තියෙනව නේද” කියල හිත දොස් තියනව. ඒවා හිතට එනව. ඉතින් කණගාටු වෙනව. මේ කියාපු මේ නරක දේවල් මා තුළත් තියෙනවා නේද කියල. ඒ පළවෙනි අවස්ථාව හැටියට. දෙවෙනි අවස්ථාව දක්වනවා. ඔන්න මේ පුද්ගලයාට දඬුවම් ලැබෙනවා. එහෙම නැත්තම් අහන්ට ලැබෙනවා, - ඒ කාලයෙ හැටියට කියවෙන්නෙ - රජකෙනෙක් අර සියලු වැරදි කරපු අය අල්ලල දඬුවම් පමුණුවනවා. ඒක දුටුවම, එහෙම නැත්තම් ඒක ගැන අහන්ට ලැබුනහම, මේ තැනැත්තාත් හිතේ තැති ගැන්මක් ඇති කර ගන්නවා. “අපොයි. මාත් මේව කරල කියෙනවා නේද? රජ්ජුරුවන්ට අහුවුනොත් මටත් මේ විදියෙ හිංසා විඳින්න වෙනව නේද” කියල. හිතින් කණගාටු වෙනව. දුක් වෙනව. පසුතැවෙනව. ඊළගට මේ පසුතැවිල්ලම තමයි තුන්වෙනුව දක්වල තිබෙනව - ඔන්න මේ තැනැත්තා එක්කෝ පුටුවක ඉඳගෙන ඉන්නව. එහෙම නැත්නම් ඇඳක හාන්සි වෙලා ඉන්නව. එක්කො බිම හාන්සි වෙලා ඉන්නව. ඔහොම ඉන්න අතරෙ මේ තැනැත්තාට හිතට එනවා අර අතීත කර්මයෙ ඡායාව. සෙවනැල්ල. බුදුපියාණන් වහන්සෙ ඒක දැක්වීමට උපමාවකුත් දක්වල තිබෙනවා. හරියට හැන්දෑ යාමයේ පර්වතයක ඡායාව දික්වෙනවා ක්‍රම ක්‍රමයෙන් - අන්න ඒ ඡායාව පර්වතයක එල්ලෙනවා වගේ පේනව හරියට. ඡායාව පර්වතයක එල්ලෙන්නෙ යම් සේද, එසේම අර තමන් අතීතයේ කළ පාප කර්මයේ ඡායාව, සෙවනැල්ල, තමාගේ - මේ කියපු බාලයාගේ - මෝඩයාගේ සිත මැඩගෙන, හිතේ එල්ලෙනවයි කියල. සමහර කෙනෙක් මේ උපමාව ආශ්‍රයෙන් කල්පනා කරනව - පාප කර්ම කියන ජාතිය අහසේ පාවි පාවි යනවයි, ඒකට දීපු උපමාවක් කියල. එහෙම එකක් නෙවෙයි මෙතන මේ කියන්නෙ. දැන් මේ පින්වතුන් දන්නවා කුසල් අකුසල් ධම් පිළිබඳව දක්වන කොට අර සෙවනැල්ල පිළිබඳ උපමාව දෙනවා ධම්යෙ. ඒවගේ මෙතන කියන්නෙ මේ හෙවනැල්ල. මේ හෙවනැල්ල තමන්ට කණගාටු ගෙන දෙන දෙයක්. සතුට ගෙන දෙන දෙයක් නොවෙයි. මේක තමන්ගෙ පසුතැවීමට. දැන් පසුතැවීල්ල කියන එකේමත් කියනවා - දැන් හෑන්දෑ යාමෙ කියල කියන කොට අපි දන්නවා ඉර අවරට යන අවස්ථාවෙ ඒ හෙවනැල්ල දික්වෙනව. අන්න ඒ වගේ මේ තැනැත්තාගෙ සිතට බලපානවා අතීතයෙ කළ පාපකර්ම. මේවා මෙලොව වශයෙන් - දිටුදැමියෙහිදිම- කෙනෙකුට විඳින්න වෙනව. පාප කර්මය කළ වේලාවෙ ඉඳලම මේ විපාක ගලාගෙන එනවා කියල කියනව. “විපාක” කියල කියන්නෙ පැසීමක් නම් මේක හිටිගමන් පැසෙන එකක් නෙවෙයි. මැරුණට පස්සෙ හිටිගමන් අපායට වැටෙන එකක් නෙවෙයි. මේක හිත තුළ “පැසවනව”. හිත තුළ පැසවනව අර කියපු ආකාරයට. පසුතැවිලි වශයෙන්. එහෙම පැසවල, පැසවල, ඇතැම් කෙනෙක් - අපිට නිතර අසන්ට ලැබෙන දෙයක් තමයි - මරණ අවස්ථාවෙ තැවෙනවා. මේ කාලයෙත් නිතර අසන්ට ලැබෙනව, බුද්ධ කාලයෙ පමණක් නොවෙයි. බුද්ධ කාලයෙ හොඳ සිද්ධි නම් මේ පින්වතුන් අහල ඇති කොතෙකුත්. අර චුන්ද නමැති සූකරිකයෙක් වේළුවනාරාමයෙ පිටිපස්සෙම හිටියෙ. ඉතාම දක්ෂයි. ඔය දැන් මේ කාලයෙ රජයෙන් එහෙම ආධාර ලබාගෙන කරන වැඩේම තමයි - ඒ චුන්ද සූකරියත් තනියම කළේ. ඌරන් අල්ල අල්ල, මර මරා, ඒ ජීවිකාව ගෙනිච්ච. නමුත් මැරෙන අවස්ථාවෙදි ඌරෙක් හැටියටම එහාට මෙහාට දුවමින්, මහා විලාප කියමින්, මහා දුක් කන්දරාවක් විඳල, අවීචියේ උපන්න. ඉතින් ඊට සමාන යම් යම් සිද්ධි ඉදිරියටත් අපට අසන්ට ලැබෙනව. තව ඉදිරියට ඔයිටත් වැඩිය අසන්ට ලැබෙන්න පුළුවන්, අපේ ආර්ථිකය දියුණු වෙනකොට - අර කියාපු මිථ්‍යා ආජීවය උඩින්. එතකොට ඒවාට පොතෙන්ම සාධක දීම වැඩිය අවශය නෑ. ඒවා ඒදිනෙදා ජීවිතයෙන් දකින්ට පුළුවන් කාලයක් ඉදිරියට එයි. මනුෂ්‍ය ප්‍රේතයින් හැටියට - මනුෂ්‍ය යක්ෂයින් හැටියට - ජීවිතය ගෙවීමේ විපාක මෙලොවදීම ප්‍රදර්ශනය කරනවා. ඒක ඉතාම වටිනවා. දැන් ඔන්න එතකොට හුඟක් වැඩ හිටීවි අර කියාපු අධි මානසික පර්යේෂකයින්ට, බටහිර විද්‍යාඥයින්ට, ඇවිල්ලා පර්යේෂණ පවත්වලා, උපායි ලබාගන්න. නමුත් ඒ අය අනුව යන බොහෝ දෙනා කරන්නෙ මේක බුද්ධිවාදයක් කරගෙන, මේවා හැමදාම “හදාර හදාරා“, පොත් ලිය ලියා උපායි ලබ ලබා ඉන්නවා. මිසක් මේවා තුළින් පාඩම ඉගෙනගෙන තම තමන්ගේ ජීවිත - ජීවිත දර්ශනය - සකස් කරගන්න උනන්දු වෙන්නෙ නෑ. ඒ විදියෙ දෙයකට නෙවෙයි, මේ අපි නිදර්ශන ආදිය දැක්වුවෙ. මේ පින්වතුන්ට පොත් ලියලා උපාධි ලබාගන්න නොවෙයි. තම තමන්ගේ ජීවිත සකස් කරගෙන අන්න අර කියාපු අළුත් ශත වර්ෂය - අළුත් අවුරුද්ද ඇත්ත වශයෙන්ම නවෝදයක් නව යුගයක් කරගන්ටයි. එතකොට අපි කල්පනා කරගන්ට ඕන - මේ ලෝකයේ - අර බුදු පියාණන් වහන්සේ දක්වා වදාළ අන්දමට අපි බාලයෙක් වෙනවද, පණ්ඩිතයෙක් වෙනවද කියල. පණ්ඩිතයෙක් වෙන්න වැඩිය විභාග පාස් කරන්න මොකක්වත් ඕන නෑ, බුදු පියාණන් වහන්සෙගෙ වචනය අනුව නම්. දැන් නම් පණ්ඩිතයා කියන වචනයෙම තියෙන්නෙ ඉගෙනීම හා සම්බන්ධ අර්ථයක්. නමුත් බුදු පියාණන් වහන්සෙ දෙන්නෙ ඊට වඩා වෙනස් අර්ථයක්. මොකද, පණ්ඩිතකම කියන්නෙ, දූරදර්ශී බව උඩයි. අදුරදර්ශී ක්‍රියා මාර්ගයක් නම් කොයි තරම් උපාධි තිබුනත්, ඒ තැනැත්තා පණ්ඩිතයෙක් නෙවෙයි. ඒක හිතනකොට, කල්පනා කරන කොට, පේනවා. බුදු පියාණන් වහන්සෙ කියලා කියන්නෙ - ලෝකවිදූ කියල කියන්නෙ - මේ ලෝකය පිළිබඳ දැනගතයුතු හැම දෙයක්ම දැනගත්තු ශ්‍රේෂ්ඨ පුද්ගලයා. බුදුපියාණන් වහන්සේට අමුතු උපාධි අවශ්‍ය නෑ. ඒ කියපු නවගුණය තුළ තිබෙනව බුදුපියාණන් වහන්සේගේ වටිනාකම. එතකොට බුදුපියාණන් වහන්සෙ ඒ බුද්ධ ඥාණයෙන් දැන වදාරලා ලෝකයේ පණ්ඩිතයෙක් වෙන්නෙ කොහොමද, බාලයෙක් වෙන්නෙ කොහොමද, කියල ඉතාම සරල අන්දමින් මේ විදියට දක්වල තියෙනව - එහි ආදීනව ආනිසංසත් එක්ක. ඉතින් අපි කල්පනා කරගන්ට ඕන, අපගෙ ජීවිතය සකස් කරගන්ට නම් වැඩි දෙයක් නෑ. මේ අපට තියෙන තුන් දොර - මේ දොරවල් තුන ඇරිල තියෙන්නෙ සමාජයට. බාහිර සමාජයට. එතකොට, මේ දෙරවල් තුන හරියාකාරව අපි අරින්න - වහන්න ඕන. තුන්දොර රැකගන්නවා කියල කියන්නෙ, අපි හිතමු අපට අඟහිඟකමක් ආව. ඒ වෙලාව අසල්වාසියගෙ කෙසෙල් කැන ළඟ තියෙනව නම්, එහෙම නැත්තම් වත්තට එල්ලිල තියනව නම්, එහෙම නැත්තම් තවත් කෙනෙක් බලාගන්න නැති, අයිතිකාරයෙක් පේන්න නැති, යම්කිසි වස්තුවක් තියනව නම්, අන්න හොර හිතින් ගන්නවා. ඊළඟට තමන්ට ආහාර පිළිබඳව - රස ආහාරයක් ඕන නම්, සතෙක් මරා ගන්නව. ඔය විදියට අපේ සිත කියනවා යම් යම් දේවල් කරන්න. ඒවා අනුව අන්න ඒ පැත්තට දොර ඇරියොත් අනුන්ට හිංසාවක් වෙන්නෙ. දැන් ධම්යෙ දක්වල තිබෙනව, කුසල් - අකුසල් විග්‍රහයෙදි, “කුසල” කියන එක ඇත්ත වශයෙන්ම කල්පනා කරල බලනවා නම්, - දැන් මේ කාලයේත් “කුසලතාව” කියල කියන්නෙ “දක්ෂතාව”. - කුසලතාව දක්ෂතාව නම් කුසල් කියල කියන්නෙ ඇත්ත වශයෙන්ම දක්ෂ වීමයි. මේ දක්ෂ - අදක්ෂ බව ගැන මේ කාලෙ කෙරෙන විග්‍රහය නෙවෙයි බුදුපියාණන් වහන්සෙ දක්වල තියෙන්නෙ, නියම දක්ෂයා කවුද? නියම කුසලය හැටියට තෝරන්නෙ අලෝභ අදෝස, අමෝහ. ඉස්සෙල්ලා අකුසලය ගැන කියමු. අකුසලයට මූල් හැටියට දක්වන්නෙ ලෝභ, ද්වේෂ, මෝහ කියල කියන සත්ත්ව සන්තානයේ දිගු කාලයක් සිට පවතින, කෙලෙස් මුල් තුන. මේ මුල් තුන හේතු කොට ගෙන, කයින් වචනයෙන් සිතින් පැන නඟින ක්‍රියා දාමයන් තමයි අකුසල් හැටියට දක්වන්නෙ, එක් පැත්තකින් පෙන්නුම් කරනව නම් - මුල් හැටියට අරගෙන. ඊළඟට ඒ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඉවත්වීමට උපකාරි වන සිතුවිල්ලම තමයි - අලෝභ අදෝස අමෝහ කියන ඒ විදියෙ සංකල්පයන් ඇති කරගෙන ඒ අනුව කෙරෙන ක්‍රියා, පාවිච්චි කරන වචන, සිතන සිතිවිලි තමයි, - කුසල් හැටියට දක්වන්න පුළුවන් වෙන්නෙ. තවත් විදියකින් කියනව නම්, මේ මනුෂ්‍යයා ජීවත් වෙන්නෙ මනුෂ්‍යයින් එක්ක පමණක් නොවෙයි. අනිත් සත්ත්වයිනුත් සාංසාරිකව තමන්ගේ මවුපියන් හැටියට, දූදරුවන් හැටියට, සැළකුවට කමක් නෑ, මේ ධම්යෙ තිබෙන නැකම අනුව බලන කොට, මේ දීර්ඝ සංසාරයෙ ඒ සත්ත්ව ආත්ම වල පවා අපි උත්පත්තිය ලබල තියෙනව. තමන්ගේ මවුපියන් සමහර විට මිය පරලොව ගිහිල්ල තමන්ගේ ගෙදර බල්ලන් බළලුන් වෙලා උපදින්න පුළුවන්. එතකොට අන්න ඒ විදියට කල්පනා කරල බලනකොට මේ මුළු මහත් විශ්වයම සමාජයක්. ඒ සමාජය පැත්තට ඇරිලායි තියෙන්නෙ තුන්දොර. ඉතින් මේකෙදි අන්න අර කියාපු අකුසල් මුල් වලට යටවෙලා යම්කිසි කෙනෙක් ප්‍රාණඝාත, අදින්නාදාන, කාමමිථ්‍යාචාර ආදී ඒ කියපු කයින් කෙරෙන වැරදි කලොත්, බොරු කීම්, කේළාම් කීම්, පරුෂ වචන කීම්, නිශ්ඵල වචන දෙඩීම් කියන ඒ වචන පාවිච්චි කළොත් - වචන දොර පිළිබඳව, ඊළඟට සිත පිළිබඳවත් අර විදියට දැඩි විෂම ලෝභය හිතේ ඇතිකර ගත්තොත්, ද්වේෂය ඇතිකර ගත්තොත්, මිථ්‍යාදෘෂ්ටි කියල කියන වැරදි දෘෂ්ටි සිතට දාගත්තොත්, අන්න ඒ තැනැත්තා අර කියාපු බාල තත්ත්වයට වැටෙනවා වගේම ඒවායේ විපාකත් ඒ අවස්ථාවේදී ඒ තැනැත්තාට විඳින්න සිද්ධ වෙනවා. එතකොට එහෙම කල්පනා කරන්න ඕන. ඒක තමයි අර අකුසලය කියල කියන්නෙ. අදක්ෂ වීම. මොකක්ද ඒ අදක්ෂ වීම? මොන හේතුවකින්ද බුදු පියාණන් වහන්සෙ අදක්ෂයි කියල කියන්නෙ? මේ සංසාර ගමන බොහොම භයානක ගමනක්. පරිස්සමින් නොගියොත් අමාරුවේ වැටෙනවා. මහා ප්‍රපාත වලට වැටෙනවා. ඒ ප්‍රපාතයම තමයි දක්වන්නෙ ඔය පද වලින් - ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති’ කියල. ‘අපායං’ කියල කියන්නෙ, වාහනයක් ගමන් කරන කොට ඒ මාර්ගයෙන් ඉවත් වීම. වාහනයක් පාරෙන් පිටට පැන්නයි කියල හිතමු. ඊළඟට ‘දුග්ගතිං’ කියල කියන්නෙ කාණුව දිගේ යන්නා වගේ. ඊළඟට පැනල කාණුව දිගේ දුවනවා ටික වෙලාවක්. ‘විනිපාතං’ කියල කියන්නෙ ඊළඟට වැටෙනවා පල්ලමකට, ‘නිරයං’ කියල කියන්නෙ සුණු විසුණු වෙනවා. අන්න එහෙම හිතාගන්න. මේක මේ පොතේ නැති උපමාවක් වෙන්න පුළුවන්. නමුත් හිත යොදවන්න උපකාර වන නිසයි කියන්නෙ. මේ වචන හතර යෙදෙනව - ‘අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජති’ කියලා. පව් කළ පුද්ගලයා පිළිබඳව ඔය වචන හතර යෙදෙනවා. අර විදියට නරක පැත්තට පාරෙන් පිටට පැන්න. ඊළඟට අර කාණුව දිගේ ගිහිල්ල අන්තිමට පල්ලමට වැටිලා විනාශ වෙනවා. ඔන්න ඔය විදියට ඒ නිරය තත්ත්වයට වැටෙනව. එතකොට එහෙම නොවන ආකාරයට ජීවත්වීමයි දක්ෂකම. කුසලකම. ඒ වගේම ඒ අපාය ආදී නරක තැන්වලට යාමෙන් වැළකීම වගේම - ඒ නරක පැත්ත - ඊළඟට නිවනට ළංවෙනවා. නිවන කියල කියන්නෙ මොකක්ද? දැන් ඇතැම් කෙනෙක් මේ කාලෙ කථා කරනවා අහෙනව. “පින් දහම් අරව මේව කළොත් සසර වැඩෙනවා. ඒක නිසා ඒව මුකුත් ඕන නෑ” කියල තර්කකාරයින් ප්‍රකාශ කරනව. භාවනාව ඕන නැතෙයි කියල මතයකුත් තව පැත්තකින් එනවා. ඉතින් මේ කොයි ආකාරයකින් කිව්වත් මෙතන අපිට හිතාගන්න කියෙන්නෙ, මෙන්න මේ බුදුපියාණන් වහන්සෙ දක්වන දක්ෂකම නම් අර අපාය මාර්ගයෙන් බේරිලා හැකිතාක් ඉක්මනින් නිවනට ළං වීම. “නිවන” කියල කියන්නෙ මොකක්ද? නිවන කියල කියන්නෙ ලෝභයෙන් ද්වේෂයෙන් මෝහයෙන් සිත මුදවාගත් සැනසිලිදායක ශාන්තියයි. පරම ශාන්තියයි. සිසිල්භාවයයි. ලෝභ ද්වේෂ මෝහ කියල කියන්නෙ ගිනි තුනක් නම් ඒ ගිනි තුන නිවීමෙන් තමන්ගේ චිත්ත සන්තානයේ ඇතිකරගන්න එක්තරා ‘සීතිභාව’ කියල කියන සිසිල් භාවයක්.ඉතාම පුදුම සැනසිලිදායක ශාන්තියක්. ඒකට තමයි නිවන කියල කියන්නෙ. පරම ශාන්තිය කියල කියන්නෙ. වෙන ලෝකෙක එල්ලෙන දෙයක්, අර විදියෙ අහසෙ පාවෙන දෙයක් නොවෙයි. ඔය බොහෝ විට විද්‍යාඥයින් අනුව යන බෞද්ධ චින්තකයින් පවා මේ හැම එකක්ම තමන්ගෙන් ඈත් කරලා හිතන්න පුරුදු වෙලා තිබෙනව. දැන් ඔය පොතපතේ බොහෝ විට දකින්න ලැබෙනවා ඇති මේ පින්වතුන්ට, මේ කර්මය ගැන, පුනරුත්පත්තිය ගැන ඔය හැම එකක් ගැනම කථා කරන්නෙ තමන්ට අයිති දෙයක් නොවෙයි හැටියට. මේවා මේ ලෝකෙ තියන විද්‍යාත්මක පර්යේෂණ කරලා දැනගන්න ඕන දේවල් හැටියට. ඒවා තමන්ට බලපානවද නැද්ද කියන එක මරණ මොහොතෙයි තේරෙන්නෙ. මරණ මංචකයෙදියි තේරෙන්නෙ. අන්න ඒක නිසා මේ හැම දැනුමක්ම තමන් ප්‍රයෝජනයට ගත්තෙ නැත්තම් ඒක නිෂ්ඵලයි. එතන දැනුමක් නෑ. ඒ තැනැත්ත මෝඩයෙක්. බාලයෙක්. පණ්ඩිතයෙක් නම් අන්න අර කියාපු විදියට “සුවීහිත චින්තී, සුභාසිත භාසි, සුකත කර්මමකාරී” වෙන්න ඕන. තමන්ගේ චින්තාවන්, තමන්ගේ වචන, තමන්ගේ ක්‍රියා පටිපාටිය ධම්‍යානුකූලව සකස් වෙන්න ඕන. අර කියාපු විදියට ලෝභයෙන් ඉවත්වෙලා අලෝභ පැත්තට. අලෝභ පැත්තට ළං වෙනවා කියල කියන්නෙ නිවනට ළංවීම. අදෝස පැත්තට ළං වෙනවා කියල කියන්නෙ නිවනට ළංවීම. අමෝහ පැත්තට ළං වෙනවා කියල කියන්නෙ නිවනට ළංවීම. මොකද, නිවන හඳුන්වන්නෙ අලෝභ අදෝස අමෝහ ගමනේ කෙළවර හැටියටයි. දැන් අපි ටිකකට මේක ගමනක් හැටියට හිතාගත්තොත් සංසාර ගමන කෙරෙන්නෙ ලෝභ ද්වේෂ මෝහ මුල් කරගෙන බව මේ පින්වතුන් කවුරුත් අහල තිබෙනව. අපි හිතමු දැන් ධාවන තරඟයක් හරි - එහෙම නැත්තම් ගමනක් ගැන හිතුවත් - ඒක තැනක ඉඳල තව තැනකට යනව. එතකොට සාංසාරික සත්ත්වයා තුළ තිබෙන මේ ලෝභ ද්වේෂ මෝහ කියන ඒ සාංසාරික ඉලක්ක තුන අතඇරල - ඒකට පිටුපාල - “නිවන” කියල කියන ඒ ශාන්තිය සොයාගෙන, අර ගිනි තුනෙන් ඉවත් වෙලා, නිවන කරා යන ගමන තමයි අලෝභ අදෝස අමෝහ කියල කියන්නෙ. ඒ සඳහා උපකාරී වන හැම සිතුවිල්ලක්ම නිවනට උපකාරයක්. නිවනට උපකාර වන දෙයක්. එතකොට දන් පින් කිරීම් ආදියේදී ඒ තැනැත්තාගෙ සිතේ පහළ වෙනවා යම් කිසි කුසල චේතනා රාශියක්. දානයක් දෙන කොට එතන ඒ පරිත්‍යාග චේතනාව තුළ අලෝභ චෛතසිකය තියෙනව. කරුණාව තියනවා. ශ්‍රද්ධාව තියනවා. ඊළඟට මමය මගේය කියන හැඟීම නැතිවෙන අවස්ථාවක් තිබෙනවා - තමන් සතු දේකින් වෙන් වෙන කොට. ඒක වෙන කෙනෙකුගෙ අතට දෙනකොට. එතකොට ඒක නිවනට උපකාර නොවෙන්නෙ මොකද? ඒවා නිවනට උපකාර වෙනවා. ඒ විදියට එකතු වෙච්ච ඒවම තමයි අන්තිමේදි යම්කිසි අවස්ථාවක අර චිත්ත සන්තානයේ එල ලබා දෙන්නෙ. නිවන් එලය. ඒ නිවන ප්‍රාර්ථනා කළොත් නිවන් එලය ලබා දෙනවා. ඊට අමතරව අර කියාපු විදියට අපායට ගෙනයන අකුසල් මර්දනය කරල, සුගති තත්ත්ව වලට - දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී වශයෙන් කියන්නෙ අන්න අර කුසල් පැත්තෙන් - ඒවායේ ආනිසංස වශයෙන් උපදින තැන්. ඒවත් අර කියාපු දිවැසට පේනව. ඒව පිළිබඳව අධි මානසික පර්යේෂණ වලින් වැඩිපුර සොයා ගන්න බැරි වෙන්න පුළුවන්. වැඩිපුර හම්බවෙන්නෙ - අර කියාපු විදියට ඉදිරියටත් ඒ පර්යේෂකයින්ට වැඩිපුර ලැබෙන්ට පුළුවන් වෙන්නෙ - ඕනෑවටත් වැඩිය නිදර්ශන, අන්න අර කියාපු ප්‍රේත ලෝක පිළිබඳවයි, භූත ලෝක පිළිබඳවයි. මොකද ඒ පැත්තට යන අය තමයි වැඩි. ඉතින් ඒ කෙසේ වෙතත් මේ පින්වත් පිරිස කල්පනා කරන්න ඕන, අපි ඇත්ත වශයෙන්ම අර කියාපු විදියට ශත වර්ෂයක ආරම්භයක් කරනව නම්, මේ ශත වර්ෂය කියල කියන්නෙ මොකක්ද? අර කස්සප බුදුරජාණන් වහන්සේගෙ - ඊටත් වඩා කකුසඳ, කෝණාගම ආදී බුද්ධවරුන්ගෙ දීර්ඝ ආයුෂ ඇති කාල ගැන කල්පනා කරන කොට අපට, මේ අවුරුද්දක් කියන එක මේ ඇස්පිය හෙළන්නා වගෙයි. කාලය ගෙවෙනහැටි කල්පනා කරලා බලන්ට මේ පින්වතුන්. ගිය අවුරුද්දෙ ආරම්භය කියල හිතූ අවස්ථාව ගැන හිත යොදවල බලනකොට - මේ අද ඊයේ වගෙ වෙන්න පුළුවන්. නමුත් මේක තුළයි මේ ලෝකයා ලොකුවට විනෝද වෙන්නෙ. මේ අතරතුර මොකක්ද වෙන්නෙ? අපේ ජීවිත ගෙවිල යනව. ජීවිත ගෙවිලා යනව. වටිනා ජීවිත කියල කියන්නෙ මොකද? බුද්ධෝත්පාද කාලෙක ලබා ගත්තු, ධම්යට යොමු කරන්න පුළුවන්, ධම්‍යානුකූලව හැසිරෙන්ට පුළුවන් ශරීරයක්, අංග විකලයක් නැතිව. දැන් අර කියාපු විදියට අර ප්‍රේත ආත්ම භාව ලැබූ අය තමයි අන්තිමේදි මනුෂ්‍ය ආත්ම භාව ලබන කොට නොයෙකුත් විදියේ අංග විකල තත්ත්වවලට පත්වෙලා විපාක විඳින්නෙ. දැන් එහෙම අංග විකලත්වයක් නැතිව, ධම්ය තේරුම් ගන්න පුළුවන් අවබෝධ ශක්තියකුත් ඇතිව මේ පින්වත් පිරිස සිටිනවා නම් තමයි, මේ ජීවිත කාලය වටිනා එකක් වෙන්නෙ. කෙටි නමුත් වටිනා දෙයක්. මැණිකක් වගේ වටිනා දෙයක් කියල හිතන්න ඕන. මොකද, තමන්ට කළ යුතු දේවල් තව තිබෙන නිසා. මේ සංසාර ගමන කෙළවර කරන්න ඉතාමත්ම වටිනා අවස්ථාවක්. එතකොට අන්න ඒ සඳහා උපකාර වෙන්නෙ ගුණධම් රැස කිරීමයි. ඉතින් මෙතන මේ සිත, කය, වචනය හසුරුවා ගැනීම කියලා, ඒවා පිරිසිදු කර ගැනීම කියලා කෙටියෙන් කියාපු එක නොයෙකුත් ආකාරයෙන් දක්වන්ට පුළුවන්. දාන ශීල භාවනා කියල දක්වන්ට පුළුවන්. ත්‍රිවිධ පුණ්‍ය ස්කන්ධයටම අදාලයි. ඊළඟට තවත් විදියකට බලනවා නම්, නිවනට කෙලින්ම උපකාර වන ආකාරයට, ශීල සමාධි ප්‍රඥා. ශීලය ගැන තමයි මෙතන මේ කියවුනේ විශේෂයෙන්ම. ශීලය - ඊළඟට ශීලය තුළින් තමයි යම්කිසි කෙනෙක් සමාධිය ඇතිකර ගන්නෙ. ඇතැම් කෙනෙක් ශීලය අනවශ්‍ය දෙයක් හැටියටත් කල්පනා කරනවා. බුදුපියාණන් වහන්සෙ ප්‍රකාශ කරල තිබෙනවා, යම්කිසි කෙනෙක් ශක්තිය අවශ්‍ය වන “බරවැඩ” කරනව නම්, යම්කිසි කෙනෙක් බරවැඩ කරනව නම්, කරන්නෙ ඕන ඊට ප්‍රමානවත් ශක්තිමත් පොළවක ඉඳගෙනය. මඩ ගොඩක ඉඳගෙන බරක් ඔසවන්න බෑ. මේ පින්වතුන් දන්නවා. ඔය ලොකු බර ගෝනියක් එහෙම උස්සන්ට පුළුවන්ද මඩ ගොඩක ඉඳගෙන? එතකොට තමනුත් එරෙනව. ඒක තමයි මේ පංච ශීලය, ආජීව අෂ්ටමක ශීලය, පොහෝය අටසිල්, දසසිල් ආදී වශයෙන් ශීලය මේ පින්වතුන් සමාදන් වන්නෙ. ඒ ශීලය පදනම් කරගෙන තමයි යම්කිසි කෙනෙක් සිත සමාධිමත් කරගන්නෙ. මොකද සිත සමාධිමත් කරගන්න අපහසු වෙනවා අන්න අර කලින් කියාපු බාල - පණ්ඩිත කථාන්තරේ කියාපු, අර පසුතැවිලි එනවනම් - හිතට ගලා ගෙන එනවනම් පසුතැවිලි - ඒ පසුතැවිලි නොඑන ආකාරයට කය වචනය පළමුවෙන් හික්මවා ගන්න ඕන. ඒකයි ශීලය කියල කියන්නෙ. සංසාරයේ කොතෙකුත් පව්කම් කරල තියෙන්න පුළුවන් - නමුත් අද මේ අවස්ථාවෙ, දැන් මේ පින්වතුන්ට හිතාගන්න පුළුවන්, මේ සිල් සමාදන් වෙච්ච අයට, අනිත් දවසේ කෙසේ වෙතත් අද මේ දවසෙ - අද මං මේ ශීලයේ ප්‍රතිපත්ති උඩයි ඉන්නෙ. එතකොට ඒ ශීල ප්‍රතිපත්ති උඩ ඉඳීම, ඒ ශක්තිය පිහිට කරගෙනයි යම්කිසි කෙනෙකුට සිත තැන්පත් කරගෙන සමාධියක් ලබාගන්න පුළුවන් වන්නෙ. සමාධිය කියල කියන්නෙ හිතේ ඇතිවන ඒ නීවරණ ධම් කියල කියන, හිතේ එකඟත්වයට බාධාකරන කාම සිතිවිලි, ද්වේෂ සිතිවිලි, නිදිමත අලස ගති, නොසන්සුන් බව, කුකුස් දෙගිඩියා ආදී ඒවා ඉවත් කරලා සිත යම්කිසි කුසල අරමුණක තැන්පත් කර ගැනීමයි. එහෙම තැන්පත් කරලා ඊළඟට අර බුදුපියාණන් වහන්සේලා දක්වා වදාළ යථා තත්ත්වය - අනිත්‍ය දුඃඛ අනාත්ම ස්වභාවය - වටහා ගැනීමට අර සමාධිමත් සිත යොමු කරනව. ඒ වටහාගැනීමට තමයි විදර්ශනාව උපකාර වන්නෙ. විදර්ශනා වශයෙන් ඒක තමන්ගේ චිත්ත සන්තානය තුළින්ම දැකිය යුත්තක්. ඒක අර පොතපතින් ලබා ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. අර විදියට “පර්යේෂණ” කරලා, ලබාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ පර්යේෂණය ඇතුළතින්ම කරන්න ඕන. ඒකට කියන්නෙ “ආර්ය පර්යේෂණය” කියල. බුදුපියාණන් වහන්සෙ කළෙත් ඒ ආර්ය පර්යේෂණයයි. එතකොට අන්න ඒ ආර්ය පර්යේෂණය කරන්න මේ පින්වතුනුත් අද වැනි වටිනා දවසක අධිෂ්ඨාන කරන්න ඕන. එහෙම අධිෂ්ඨාන කරගැනීමේ ආරම්භය තමයි, අර මෙතන ප්‍රකාශ කලේ - සිත, කය, වචනය කියන තුන්දොර රැක ගැනීමට හැකිතාක් උනන්දුවීම. ඒදිනෙදා ජීවිතයේ කොයි විදියෙ ප්‍රශ්න ආවත්, කොයි විදියෙ ගැටළු ආවත්, තමන්ගේ මේ තුන්දොර රැකගත්තෙ නැත්තම් තමන්ට වන දේ ඒ බුදු පියාණන් වහන්සෙ දක්වල තිබෙනවා. “කම්මස්සකා කම්ම දායාදා” කියල ප්‍රකාශ කරල තිබෙන්නෙ, තමන් අරගෙන යන්නෙ, තමන්ට අයිති දේ නියම වශයෙන් තමා කළ හොඳ හෝ නරක. ඊළඟට ඒක තමයි තමන්ගේ දායාදය සංසාරයේ. අන්න ඒක කල්පනා කරගෙන එතකොට මේ පින්වතුත් මේ වටිනා පෝය දවසෙ තමන්ගේ ජීවිතයට උපකාරී වන, හැබෑ ජීවන දර්ශනයක් ඇතිකර ගැනීමට උපකාර වන, සැබෑ නවෝදයක් ඇතිකර ගැනීමට උපකාර වන, බුදු පියාණන් වහන්සේලාගේ ඒ ධම් කාරණා රාශියකට කන් දුන්නා. ඒ දේශනා කළ බුදුපියාණන් වහන්සේ සිහියට නඟාගෙන - මේ අපි දේශනා කළ එකක් හැටියට නොවෙයි, බුදු පියාණන් වහන්සේගේ දේශනාව ආශ්‍රයෙන් තමයි අපි මේ කාරණා ටික කිව්වේ - තුණුරුවන් කෙරෙහි ශ්‍රද්ධා භක්තිය ඇති කරගෙන, තමන්ගේ නිත්‍ය ශීලයක් - පංච ශීලය හෝ ආජීව අෂ්ටමක ශීලය හෝ - දැඩිව අධිෂ්ඨාන කරගෙන, ඊට අමතරව එයින් ප්‍රයෝජන ගැනීම් වශයෙන් භාවනාවට යොමුවෙලා මේ වර්ෂය ගතකරන්ට හොඳට අධිෂ්ඨාන කරගන්ට ඕන. මෙතෙක් මේ වේලාව තුළ, සිත කය වචනය සංවර කරගෙන, යම්කිසි ශීලයක් සමාදන් වෙලා හොඳට ශ්‍රද්ධාව වීර්යය සතිය සමාධිය ප්‍රඥාව වැඩෙන ආකාරයට ධම් ශ්‍රවණය කළා. මේයින් මේ රැස් කරගත්තු කුසල සම්භාරයත්, අපි ධම් දේශනා වශයෙන් ඇති කරගත්තු කුශල සම්භාරයත් -, අපි කල්පනා කරන්නට ඕන අපේ මේ ශාසනයට කොයි තරම් උපද්‍රව තිබුනත්, මේ පරිහානි වේගය මර්දනය කරගැනීමට, බුදුපියාණන් වහන්සේලා ඇසුරු කළ ඒ දිව්‍ය බ්‍රහ්ම රාජයන් වහන්සේලා ඇතුළු සම්‍යග්දෘෂ්ටික යම්කිසි ශාසනාරක්ෂක දිව්‍ය මණ්ඩලයක් සිටිනවා. මේ පින්වතුන් දැක්කා හෝ නොදැක්කා හෝ - අන්න ඒ උන්වහන්සේලාත් අනුමෝදන් වෙත්වා! තවදුරටත් මේ ශාසනයට ආරක්ෂාව සලසත්වා! එසේම අපගේ මියගිය ඥාතීන්ටත් මෙන්න මේ පින් අනුමෝදන් කරන්න ඕන. අපගේ ජීවිතත් මේ විදියට ශීල සමාධි ප්‍රඥා මාර්ගයෙන්, නිර්වාණ ධම්ය කරා යොමු කරවමින්, සෝවාන් සකදාගාමී අනාගාමී අර්හත් කියන මාර්ග ඵල ප්‍රතිවේධයෙන් උතුම් අමාමහ නිවන් සාක්ෂාත් කරගැනීමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරගෙන දැන් මේ විදියට ගාථා කියල පින් පමුණුවන්න. එත්තාවතා ච අම්හේහි . . . .